Header Ads

Horror Film බලපුවම තනියට මට ඉන්න පුළුවන්


“මොනාද Madam කල්පනා කරන්නේ ඔච්චර?”
එක පාරටම ඇහුන කටහඩට මම උඩ ගියා... බය වෙලා වගේ ඒ පැත්ත බැලුවෙ ඒකයි.
“ආආආ ඔයාද මේ... මං හොදටම බය උනා...”
“මං දැක්කා වෙනම ලෝකෙක හිටියෙ කියලා... මොකද මේ මෙතන්ට වෙලා අහස පොලව ගැට ගහන්න වගේ? මොකක් හරි අවුලක්ද..?”
Bench එකේ එහා කොනෙන් වාඩි වෙන ගමන් මෙලාන් ඇහුවා...
“එහෙම මොකුත් නෑ. මෙතනට මං ආසයි.. ඒකයි....”
“අනේ මේ නිකන් බොරුව නොදා ඉන්නවද.. මං නොදන්නවයෑ  ඔයාගෙ හැටි.... මොකක් හරි ලොකූ අවුලක් ගිහින් තියෙනවා.. නැත්තම් ඔහොම ඉන්නේ නෑ..
“මට මේ හැම දේම එපා වෙලා ඉන්නේ මෙලාන්....” හිතේ තිබුණ අවුලට මට එහෙමම කිය උනා.
“මලීෂා මේ අහන්න... ඔයා මේ විදියට දුක් විදින්න ඕන කෙනෙක් නෙවෙයි... ඔයාගෙ හිත හොද වැඩියි... ඒකයි මේ සේරම... දැන්වත් ඔය අනික් මිනිස්සු හින්දා හිත රිදෝ ගන්න එක නවත්තලා දාන්න. ඒ මිනිස්සු ඔහොම දුක් වෙන්නෙ නෑනේ. ඇයි ඔයා මේ පිස්සු නටන්නේ” මෙලාන් එක දිගට කියාගෙන ගියා.
මං මහා අසරණ විදියට මෙලාන් දිහා බැලුවෙ. ඒ ඇස් කේන්තියෙන් දිලිසුණා.
“ඒත්......”
“ඒත් මේත් කියන්නෙ මොකක්ද? කොහෙවත් ඉන්න එකෙක් හින්දා හැමදාම අඩනවා. ඕක ඉවර වෙන්නෙ කවද්ද?”
“කෙනෙක් වැරැද්දක් කරන්න ඕනනෙ එක පාරට තරහ වෙන්න. අඩුම තරමේ තරහ වෙන්න හේතුව වත් කිවනම්. එහෙනම් මෙච්චර අවුලක් නෑනේ මට.” මට දැන් ඇඩෙන්න ඔන්න මෙන්න වගේ.
“ඔයාට කියලා වැඩක් නෑ. ඕන මගුලක් කර ගන්න. මනුස්සයෙක් හින්දා අවුල් ගියාට කමක් නෑ. ඒ උනාට ඔහොම එකෙක් වෙනුවෙන් කදුළු හලන එකත් මහ ගොන් වැඩක්.”
එහෙම කියාගෙනම මෙලාන් එතනින් නැගිටලා ගියා. මට තවත් අවුල්. කොච්චර උනත් හැමදාම මං තනි උන වෙලාවට හිටියෙ මෙලාන් විතරයි.
තවත් එතන ඉන්න තරම් මගෙ හිතට කිසිම ෆිට් එකක් තිබුනෙ නෑ. ඒ හින්දම මං එතනින් නැගිටලා ආවා. මෙලාන්, කවිදු, මම හොද යාළුවො. හැබැයි කවිදුගේ වැඩ හින්දම මෙලාන් එයාව යාළු කමෙන් අයින් කරලා තිබුනෙ. මොනා උනත් යාලුවනෙ කියලයි මං කවිදු ගැන හිතුවෙ. ඒත් කවිදුට අඩුම තරමේ මං යාලුවෙක් වත් නෙවෙයි කියලා මං තේරුම් ගන්න කොට මං සෑහෙන්න පරක්කු වැඩියි. මට කලින් ඒ දේවල් තේරුන හින්දද කොහෙද මෙලාන් කවිදු ගෙන් ඈත් උනේ. ඒත් කවදාවත් එයා මට කිව්වෙ නෑ කවිදුගෙ වැරද්දක්.
හැම දේම වෙන්නේ හොදටයි කියලා හිතාගෙන මං library එක පැත්තට ආවා...වැඩක් කරනකොට හිතේ කරදර අමතක කරන්න පුළුවන්නේ කියලා හිතන්. එක පාරටම වගේ මගේ ඉස්සරට ආවේ කවිදු. එයාගෙ අළුත් යාලුවත් එක්කම. මාව නොදැක්ක ගානට එයා අර girl එක්ක කථා කර කරම මගෙ ඉස්සරහින් යන්න ගියා. මාව එතනම නැවතුනා වගේ උනා. අඩුම තරමේ එක හිනාවක්.
මට මාරම අවුල්. මැරිලා ඉපදිලා වගෙ මිනිස්සු කොහොමද මෙහෙම හැසිරෙන්නෙ. අවුල වැඩි කමටම මං ආපු වැඩේ පැත්තකින් තියලා සින්දුවක් දාගෙන headset එකත් ගහගෙන ඇස් දෙකත් පියා ගත්තා. කෙනෙක් මගේ හොදම යාලුවෙක් නම් එයා තව කෙනෙක්ගේ හොදම යාලුවෙක් වෙන එක තරම් එපා කරපු දෙයක් නෑ මට නම් තව. වචනයේ පරිසමාර්ථ අර්ථයෙන් කීවොත් මං පුරුදු වෙලා ඉන්නේ බදාගෙන කන්න මිසක් බෙදාගෙන කන්න නෙවේ. ඒක එහෙමයි කියලා මං කටින් නොකිව්වට එයාලා ඒක දන්නවා. එහෙමත් දැනගෙන මෙහෙම කරන කොට නම්...
හිත හදා ගන්න හෙනම try එකක් දුන්නට වැඩක් උනේම නෑ... බැරිම තැන අන්තිම පාරට කවිදු ගෙන අහන්න හිතුවා ඇයි මා එක්ක කථා කරන්නැත්තේ කියලා. වැඩේ චාටර් තමයි. ඒත් කරන්න දේකුත් නැති හින්දා කවිදුට message එකක් දැම්මා ඇයි මේ කියලා. වෙනදා නම් දාන පරක්කු වෙන් reply. බලාගෙන හිටියා දැන් එයි දැන් එයි කියලා. පැය 2කට විතර පස්සෙ මෙන්න එනවා 
“නෑ එහෙම මොකුත් අවුලක් නෑ”
ඒක දැක්කම නම් මගෙ ඇගේ මාළු නටන්න ගත්තා. මේ ඩිංග එවන්න පැය 2ක් ගියාද?
“ඔහෙට දැන් මගේ msg වලට reply කරන්නත් හැට පැයක් යනවද? itz ok. අපේ friendship එක එවරයි. ඔහේ වගෙ යාලුවෙක් මට ඕනිම නෑ. Good Bye! ”
“ඔයාට මොකක්ද මේ වෙලා තියෙන්නේ ? ඔයා ඕනවට වඩා හිතනවා...”
“මොනදා මං දැන් හිතුවෙ?”
“මොකුත් නෑ”
“ඔහෙට ඉතින් දැන් අළුත් යාළුවො ඉන්නවනේ. ඒකයි මේ සේරම.”
“එයා ලගදි තමා මට met උනේ. Bt  එයා හෙන ෆිට් එකක් දැන්.”
ඒ වගේ කතාවක් මං එයාගෙන් බලාපොරොත්තු උනේ නෑ කවදාවත්. ඒක දැක්කම නම්...
“sorry for everything, Goodbye” 
Library එක මැද්දේ අඩන්න බැරි හින්දම සේරම බඩු ටිකත් අකුලගෙන මං ආවා බෝඩිමට. ඊට පස්සේ ඇති වෙන්නම ඇඩුවා. කවිදුව මීට් උන පලවෙනි දවසේ ඉදලා අද වෙනකන් කියපු කරපු හැම දේම ෆිල්ම් එකක් වගේ මැවිලා පේන්න ගත්තා. යාළුවෙක්ට වැඩියෙන් මං කවිදු ගැන හිතුවෙ. මේ හැම දේටම මුල ඒකයි..නැත්තම් යාලුවෙක් තරහා උනා කියලා මේ තරම්ම අවුල් යන්නෙත් නෑනේ.
ඒ අස්සේ ෆෝන් එකත් රින්ග් වෙනවා. අඩලම කථා කර ගන්නත් බැරි තරම්...
“හෙලෝ...”
“මැට්ටි මොකෝ මේ කටහඩ...? ඔයා අඩනවද?”
“ඔව්...”
“ඒ පිස්සුද... දැන් කොහෙද ඉන්නේ?”
“බෝඩිමේ”
“මේ එනවා කැම්පස් එකට... මං කැම්පස් එකේ ඉන්නේ”
“මෙහෙම එන්න බෑ”
“මුණ හෝදගෙන එනවා... මං එන්නද බෝඩිම ළගට...?”
“එපා මං එන්නම්”
“එල එල මං ටෙනිස් කොර්ට් එක ළග ඉන්නවා”
“හ්ම්”
මෙලාන් මෙච්චර කියද්දීත් නොගිහින් බැරි හින්දා මං මුණත් හෝදගෙන ආයි කැම්පස් එකට ගියා. මං යද්දි මෙලාන් පඩි පෙළ උඩට වෙලා ඉන්නවා..මාත් ගිහින් එයාට එහා පැත්තෙන් වාඩි උනා.ටික වෙලාවක් යනකන් එතන කිසිම සද්දයක් නෑ. අපි දෙන්නම අපේ ලෝක වල.
“අඩලා ඉවරද දැන්?”
“හ්ම්”
“දැන් ඇයි ඇඩුවේ?”
“කවිදු කිවා අර girl ලගදි මීට් උනාට හෙන ෆිට් එකක්ලු.”
“ඉතින්...?”
“ඉතින් කියන්නේ? එයා කොහොමද එහෙම දෙයක් මට කියන්නේ?  එයා මාව පාතටම දාලා කතා කළා. මං එයාගේ යාලුවෙක් වත් නෙවෙයි වගේ.” ආයි පාරක් මට ඇඩෙන්න උනා.
“ඒ මේ ඔය ඇඩිල්ල නතර කර ගන්නවා. මිනිස්සු බලනවා”
“හ්ම්” කදුළු පිහ ගන්න ගමන් මං කිවා.
“මං දෙයක් serious අහන්නම්.මට ඇත්තම කියනවද?”
“මොකක්ද?”
“මට ඇත්තම කියන්න ඕන හැබැයි.”
“හරි ඉතින්”
“ඔයා කවිදුට කැමතිද? I mean love…?”
“පිස්සුද? එහෙම එකක් නෑ”
“බොරු කියන්නෙපා. එහෙනම් මොන එහෙකටද ඔච්චර ඉරිසියාවේ පැලෙන්න හදන්නේ? මට ඇත්ත කියනවා”
“අනේ එහෙම දෙයක් නෙවේ මෙලාන්... එයා මාත් එක්ක ගොඩක් close අනික හැමෝටම එයා එපා වෙලා ඉද්දි මං විතරනේ හිටියේ. දැන් එයා මට මෙහෙම කරන්නේ? මට ඒකටයි සෑහෙන්නම අවුල්. එයා කා එක්ක හිටියත් මට අවුලක් නෑ. අඩුම තරමේ මගෙ වැරැද්ද මොකක්ද කියලාවත් කිවා නම්...”
“හ්ම්ම්ම්”
“මං ඇත්ත කිවේ”
“හරි ඉතින්... දැන් ඔය විදියට කොච්චර කල් ඉන්නද හිතන් ඉන්නේ?”
“මන් දන්නෑ...”
“ඔව් ඉතින් දන්නේ මොනාද කියනවකො...”
“ඉතින් අනේ...”
“ඉතින් අනේ තමා.... කොහෙද ඉතින් ඇග පුරාම මොලේනේ... ඒකයි ඔය...”
“ඔයත් දැන් මා එක්ක තරහ වෙන්නද හදන්නේ...?” මං එහෙම ඇහුවේ හරිම අසරණ විදියට... මට තව යාළුවෙක්ව නැති කර ගන්න බෑ.
“කරන ගොන් වැඩ වල හැටියට දාලා යන්නමයි වටින්නේ...”
“අනේ......”
“මේ අපි වැඩක් කරමු... හොයමු හොද කොල්ලෙක්. එතකොට හරි.”
“මට එපා. මං බල්ලෙකුත් හදන් තනියම ඉන්නවා.”
“බල්ලෙක් මොකටද?”
“ඇයි horror ෆිල්ම් බලලා කොහොමද තනියම ඉන්නේ? බල්ලෙක් ඉන්නකොට බය නෑනේ.”
“මහ ලොකු වීරයා... කතාව නම් කොහොමද... මට කොල්ලො එපා... මං තනියම ඉන්නවා. ඒ උනාට ෆිල්ම් වලටත් බයේ මැරෙන්න හදනවා. පව් අප්පා...” මෙලාන් ඒ පාර මට හිනා වෙනවා.
“එහෙම තමා.”
“සිරාවටම කියන්නේ මේ. ඔච්චර බොළද වෙන්නෙපා... ඔය විදියට කොහොමද මේ ලෝකේ ජිවත් වෙන්නේ...”
“කමක් නෑ. මේ මගේ හැටි...”
“බදින එකා පව්.”
“මං බදින්නෙ නෑනේ..”
“ආහා... මට අමතක උනා. අර බල්ලා පව්...”
“ඇයි ඒ?”
“ඔයා වගේ මැන්ටලයක් එක්ක ඉන්න උනාම ඒකට කොහොම තියෙයිද... පිස්සු හැදිලා මැරිලා යයි...”
“අනේ යනවා හලෝ යන්න...” ඒ පාරනම් මට මෙලාන් එක්ක කේන්තිත් එක්ක. බුරුවා!
“ඒ පිස්සි දැන් හරි නේද? මූඩ් fixed උනා නේද...”
“හ්ම්ම්”
“එහෙනම් ආයි අඩන්න එපා... හරිද? කව්රු නැතත් මං ඉන්නවනේ... මං තරහා වෙන්නේ නෑනේ ඔයා එක්ක.”
“ටැන්කු....”
“ඕනෑම දෙයක් ගැන ඕනවට වඩා හිතන්නෙපා... ඒකයි ඔච්චර අවුල් යන්නේ...”
“හ්ම්ම්ම්”
“බෝඩිමේ බස්සොත් ඉන්නවද?”
“නෑ ඇයි එහෙම ඇහුවේ...?”
“හැම එකටම හ්ම් හ්ම් ගාන හින්දා...”
“අනේ යනවා”
“කොහෙ යන්නද?”
“ඕන දිහාක”
“හාකො හාකො”
“හ්ම්”
“මැන්ටලේ දැන් බෝඩිමට යන්ද...? රෑත් වෙලානෙ” එතකොට තමා මට වෙලාව බලන්න මතක් උනේ.7 ටත් වෙලා... දෙයියනේ දන්නෙම නැතුව රෑ වෙලා.
“හා හා... හොද වෙලාවට මතක් කලේ. නැත්තම් අද රෑම මෙතන ඉන්නවා.”
“පිස්සුද....මං නම් ඉදී... තව ටිකක් වෙලා බලලා මං යන්න හිතන් හිටියේ.”
“ඉතින් යන්න එපායෑ. ඇයි හිටියේ?”
“මැන්ටලේ පව් හින්දා...”
“අනේ ඇත්තට... යනවා ඕන්නෑ... මට තනියම යන්න පුළුවන්...”
“අනේ ඇත්තෙයි...”
“ඇත්ත තමා...”
“යමු යමු” එහෙම කියලා මෙලාන් එතනින් නැගිට්ටා... ඒ පාර මාත් නැගිට්ටා...
යන මග දිගට අපි දෙන්නා ගෙන් කව්රුවත් කතා කලේ නෑ... අපි අපේම ලෝක වල හිටියෙ... මට මෙච්චර කාලෙකට මෙලාන් ව මේ තරමට දැනිලා නෑ... අපි කොච්චර හොද යාළුවො උනත් කවදාවත් මෙච්චර ළගින් මට එයාව දැනුනෙ නෑ... කොට මිට්ටා කියලා එයාව බයිට් කරනවා ඇරුනම මං කවදාවත් එයා ගැන මහා ලොකුවට හිතලා තිබුනෙ නෑ..
අපි දන්නෙම නැතුව බෝඩිමේ  ගේට් එක ලගටම ඇවිත් තිබුණා.
“මං යනවා. පරිස්සමින් යන්න... Good night. Bye” 
“Good night. Bye”
බෝඩිමට යනකොට මුළු හිතම නිදහස් වෙලා වගෙයි මට දැනුනේ. මේ දවස් ටිකේම තිබුණ බර නිදහස් වෙලා වගේ. ඒ හැගීම වචන වලින් විස්තර කරන්න බැරි තරම්.
ඒ මේ අස්සේ phone එකට message එකක් ඇවිත්... ශුවර් එකටම tweet එකක් වෙන්න ඇති.
“මැටි අලේ මේක මං දැන්ම කියන්න නෙවේ හිතන් හිටියේ... ඒ උනාට මෙහෙම ගියොත් මං පරක්කු වෙයිද කියලා හිතුණා... මං ඔයාට කැමතියි.... බල්ලෙක් හදන්න ඕනි නෑ...(ඔයාට ඕනිම නම් හදමු) Horror Film බලපුවම තනියට මට ඉන්න පුළුවන්!”
අනේ  මෙලාන්...!!!

- සේයා -