Header Ads

හිනාව



ඔව්.මම ඇස් දෙක ඇරපු මුල්ම වතාවෙදිම දැක්කේ එයාව.එයාගෙ දිලිහෙමින් තිබුණු තරු කැට වගේ ඇස් දෙක.එයා එක අතකින් පින්සලකුත් අනිත් අතින් දිය සායම් කලවම් කරපු තැටියක් වගේ එකකුත් අතේ තියාගෙන මං දිහා බලාගෙන හිටියා.එයා හරියට මන් දිහා බැලුවෙ අලුත ඉපදුනු පුංචි පුතා දිහා අම්ම කෙනෙක් බලන් ඉන්නවා වගේ.හැබැයි මම පුංචි පුතෙක් වගේ ඇඬුවෙත් නෑ.එයා මාව අම්ම කෙනෙක් වගේ බදාගත්තෙත් නෑ.ඒත් එයාගේ මූනෙ ඇඳිලා තිබුණු හිනාව මාව බදාගෙන කිටි කිටියේ තෙරපුවා වගේ තමයි මට දැනුනේ.මං කොච්චර වාසනාවන්තද?ලෝකය දකින්න ඇස් දෙක ඇරපු පලවෙනි වතාවෙම එයාගේ හිනාවෙන්, ඒ හිනාවෙන් හැංගිලා තිබුණු එයාගේ ආදරෙන් මගේ ලෝකෙම පිරිල ගියේ අන්න ඒ විදිහට.

දැන් මං දවස් ගානක් තිස්සෙ මේ කඩදාසි කොලේකට ඇලිලා.ඒ මදිවට ඒක වටේට ලී පතුරු හතරකුත් ගහලා.මගේ ඉස්සරහට වීදුරුවකුත් දාලා.කොටින්ම කියනවනම් මම හතර වටින්ම හිරවෙලා.ඔව්.මම දන්නව එයා මෙහෙම කරලා තියෙන්නෙ මට තියන ආදරේ වැඩිකමට.අම්මල වුනත් තමන්ගේ පුංචි පුතාව ඉස්පිරිතාලෙ ඉඳන් ගෙදර ගෙනාවම නිකම්ම පුටු උඩ වාඩි කරලා තියන්නේ නෑනේ.ලස්සන තොටිල්ලක තියලා උඩින් සෙල්ලම් බඩු එල්ලලා.එහෙම තමයි අම්මගේ ආදරේ.හැබැයි ඉතින් මෙහෙමයි.අපි දෙන්නගේ ආදරේ අම්මගෙයි පුතාගෙයි ආදරේට වඩා ටිකක් වෙනස්.මම එහෙම කියන්නේ මට පේන විදිහට නම් එයාට අවුරුදු විසිදෙකක් විසිතුනක් වගේ ඇති.එතකොට මගෙ වයස කීයද?මම මගෙ වයස තියා මම කවුද මගේ නම මොකක්ද කියලවත් දන්නේ නෑ.අවුරුදු දාහතරක් වගේ දාන්නම්.මම එහෙම කිව්වේ මම ඉන්නෙ ඉස්කෝලෙ ගිහින් එන ගමන් සුදු කමිසෙයි නිල්පාට කොටකලිසමයි ඇඳගෙන අපේ ගේ ළඟ වෙළ අයිනේ බෝක්කුව උඩ ඇලේ වතුරපාර දිහා බලාගෙන හින්ද.ඒ කියන්නේ අවුරුදු පහලවට වඩා අඩු වෙන්න ඕනේ.වයසෙ හැටියට ඇඟත් හැදිලනම් පහලවට කිට්ටු වෙන්නත් ඕනේ.ඒ කියන්නේ දාහතර තමයි.දැන් එහෙම බැලුවොත් මට දාහතරයි එයාට විසිතුනයි.නෑ..එයා කොහොමටවත් මගේ අම්ම නම් නෙමෙයි.ඕනෙම කෙනෙක් මේ ලෝකෙට බිහි කරන්නේ තමන්ගේ අම්මා.එතකොට මාව බිහි කරපු කොහොමටවත් මගේ අම්ම වෙන්න බැරි මෙයා කවුද?

ඉස්සරනම් එයා හැමදාම උදේට යනකොට මං දිහා බලල හිනාවෙලා තමයි යන්නෙ.ඒ හිනාව මුළු දවසම මාව ආදරෙන් මත් කරල තියන්න හොඳටම ඇති. ආයි හවසටත් එයා සාලෙන් යනකොට මං දිහා බලල හිනා වෙනවා.ඒත් දැන් එහෙම නෑ.උදේට යන්නේ බොහොම කලබලෙන්.හවසට එනකොටත් මුණ රතුකරගෙන තරහ ගිහිල්ල වගේ.මහන්සිය හින්ද වෙන්න ඇති.කොහෙද ඉතින්.මං හිටිය කියල එයාට කිසිම උදව්වක්වත් කරනවද?එයා මට මෙහෙම කරන එක සාධාරණයි.දැන් වුනත් එයා කෑම කන වෙලාවට හ‍රි සාලෙට ඇවිල්ල මං දිහා යන්තමින් හරි බලනවා.එයා ඉස්සරනම් මං දිහා බලල හිනා වුනේ "කියන්නකෝ මොනවහරි" වගේ බැල්මකින්.මං ඉතින් ඒ කාලෙත් දැනුත් ඉස්සරහටත් බකමුණෙක් වගේ බුම්මගෙන.එයාට දැන් එපා වෙලා ඇත්තෙ.ඒ කොහොමවුනත් මං එයාට ආදරෙයි.බිත්තියකට එල්ලිලා හැමපැත්තෙන්ම ලී කෑලි වලිනුයි වීදුරුවලිනුයි වටවෙලා හැම තිස්සෙම බුම්මගෙන ඉන්න මං වගේ එකෙක් කොහොමද මගේ හිතේ එයා ගැන ආදරයක් තියෙනවා කියල යන්තමට හරි පෙන්නන්නේ.මං කොච්චර අවාසනාවන්තද?

ඒ මනුස්සයා ආවෙ එයා දවාලක පොතක් කියව කියව ඉන්න වෙලාවක.කණ්ණාඩි දෙකක් දාගත්ත වයසක මිනිහෙක්.එයත් අර මනුස්සයට ගේ ඇතුලට කතා කරලා පස්සේ තේ එකකුත් හදල ගෙනත් දුන්නා.ඊට පස්සේ තමයි ඒ දෙන්න කතා කරකර මං ලඟට ආවෙ.

"මේක වෙන්න ඇති ඔයා කියපු චිත්‍රෙ."
"ඔව් මිස්ට,මේක තමයි.මට ස්කොලර්ෂිප් එකක් ඇවිල්ල තියනවා ඇමරිකන් යුනිවසිටි එකකින්.ඉතින් සල්ලි ටිකක් හදිස්සි හින්ද තමයි මේ චිත්‍රෙ ගැන ආට් මැගසින් එකේ දැම්මෙ."

මේ ගෙදර ඉන්නෙ මේ නාකි මනුස්සයයි,එයාගෙ දුඹුරු පාට බලු තඩියයි විතරයි.මං වගේම එක එක ජාතියෙ මිනිස්සු මෙහෙ බිත්තිවල රාමු කරලා එල්ලලා තියෙනවා.ඒ කවූරු හිටියත් මට තාමත් මතක් වෙන්නෙ එයාව.එයාට පිටරට යන්න සල්ලි ඕනෙ හින්දලුනේ මාව මේ මනුස්සයට දීල තියෙන්නේ.එයා මාව අන්තිම වතාවට අත් දෙකට අරගෙන පලවෙනි දවසෙ වගේම ආයෙත් හිනාවුනා.අපරාදේ.ඒ වෙලාවෙවත් මම යන්තම් හරි හිනාවුනානම් එයා මාව මේ නාකි මිනිහට දෙන්නේ නෑ.ඒක මට විශ්වාසයි.මොනව කරන්නද?කමක් නැහැ.මං හින්දනේ එයාට පිටරට යන්න සල්ලි ලැබුනේ.මං මගේ ජීවිතේම දුන්නෙ එයා හින්ද.දැන්නම් එයාට හොඳටම තේරිලා ඇති මං එයාට ආදරේ විත්තිය.එයාටත් මාව මතක් වෙනවා ඇති.ඔව්.එයා ආපහු ඇවිල්ල මාව අරන් යාවි.මම ලෝකය දැකපු මුල්ම දවසේ ඇස් දෙක අතරින් ආපු ඉර එළියත් එක්ක එයාගෙ ආදරෙන් මගේ ජීවිතේ පිරෙව්වා වගේ ආයිමත් මාව ආදරෙන් පුරවන්න එයා ඒවි...ඔව්.මං එයාට ආදරෙයි.    


ගයන්ත අකලංක
Level 0, Faculty of Engineering