Header Ads

ඔබ මගේම උනා නම්


අමල් අයියා එක්ක දවල් කන්න ගිහින් එනකොට මගදි අවිශ්කව ඉස්සරහට ම  හම්බුණා..ඒ ඇස් වෙනස් වෙන හැටි...අමුතුම දුකකින් පිරෙන හැටි...මං යන්තමින් හිනා වෙලා ඒ ඇස් මගෑරලා ආවේ දුකකුත් පසුතැවිමකුත් එක්ක...

අවිශ්ක මගෙ හොදම යාළුවෙක් කිව්වොත් ඒක වැරැද්දක් නෙවෙයි.campus එකේ හැම දේකදිම මාත් එක්කම ඉන්න අය අතරින් එයා ඉස්සරහින්ම ඉන්නවා.අමල් අයියා මගේ boyfriend.අපි යාළු උණේ campus එන්නත් කලින්.ස්කොලේ යන කාලේ.අවුරුදු ගානක සම්බන්දයක්..ඒත් campus ආවට පස්සේ අවිශ්ක මට ගොඩක්ම ලං උණා..ඒක උනේ කොහොමද කියන්න නම් මටත් තාම තේරෙන්නේ නෑ..ඒත් ඒ යාලුවෙක් විදියට විතරයි...මොකද අමල් අයියා ගැන එයත් දැනන් හිටියා..

එහෙම උනත් මං අමල් අයියා එක්ක දකින හැම වෙලාවකම අවිශ්කගෙ මුණ වෙනස් වෙන විදිය මං කාලෙක ඉදලම නෝට් කරගෙනයි හිටියේ...මං කිසිම දවසක වෙන කාගෙන්වත් ඒ වගේ බැල්මක් දැකලා නෑ.ඒක දුකක්ද නැත්තම් දෙයක් ලබා ගන්න බැරි උන පරාජිත බවක්ද කියලා මට තේරෙන්නේ නෑ...ඒ කොහොම උනත් ඒ මුණ දකින කොට නම් මගේ හිතටත් නිකන් මොකක්ද මොකක්ද වගේ.මං ලොකු වැරද්දක් කළා වගේ මට දැනෙනවා.

පහුවෙනිදා උදේම මං campus යද්දී අවිශ්කව ඉස්සරහට හම්බුණා.

“Good morning”

“Good morning”

ටික වෙලාවක් යනකන් අපි දෙන්නම කතා නැතුව මුණට මුණ බලාගෙන හිටියා.ඇත්තම කීවොත් ඒ ඇස් දිහා බලන් ඉන්න කොට මට දැනෙන්නේ මාරම අපහසුතාවයක්.

“මොකෝ දෙන්නා පිළිකුල් භාවනාව කරනවද...”එතනට ආපු  හිරුණි අහද්දී තමා මට ඉන්න තැන මතක් උනේ..

“ආආආආආ ....හිරුණි....කෝ අමිල ...  ”අවිශ්කටත් ඉතින් කට පියන් ඉන්නම බෑනේ...එයාගේ වැඩේම හිරුණිව bite කරන එක.

“මං කොහොමද දන්නේ එයා කොහෙද කියලා ”හිරුණි කේන්ති ගිහින් වගේ කියනවා.(අනෙ එයාගේ කේන්තිය..අමිල මතක් කරනකොට මුණට එන පැණි හිනාව)

කොහොම හරි අවිශ්කයි හිරුණියි රණ්ඩු කර කරම  මාත් එක්ක ලෙක්චර් හෝල් එකට ආවා.ඒ දෙන්නගේ වැඩේම හැම වෙලේම පැටලෙන එකමනේ..හේතුවක් ඇතත් නැතත් දෙන්නගේ වැඩේ රණ්ඩු වෙන එක..අහගෙන ඉන්න කෙනෙක්ට නම් හිතෙන්නේ  මේ දෙන්නා, දෙන්නට දෙන්නව bite කර ගන්නවා කියලයි.

ලෙක්චර් එකේ මට එහා පැත්තේ වාඩි උනේ අවිශ්ක...හිරුණි ඊට එහා පැත්තේ..මං ආසම සබ්ජෙට් එකක් හින්දම මං ගොඩක් වුවමනාවෙන් ලෙක්චර් එක අහගෙන හිටියෙ.ටික වෙලාවක් යද්දි මට ලාවට පේනවා අවිශ්ක මගේ දිහා බලන් ඉන්නවා වගේ..ඒ පාර මං හැරිලම එයා දිහා බලනකොට එයා එක පාරටම අනිත් පැත්ත බලා ගත්තා...මං ආයි ඒ ගැන අහන්න ගියෙත් නෑ..මොකටද නිකන් ලැජ්ජා කරන්නේ..නොදන්න ගානට හිටියම හරිනේ..

අවිශ්ක දවසින් දවසම මගේ හිතට ලං වෙනවා වැඩියි..මං ඒ ගැන ගොඩක් බයෙන් හිටියෙ..ඒ මොකද කීවොත් මට කවදාවත් අමල් අයියව නැති කර ගන්න බැරි නිසා..මං අමල් අයියට ආදරේ කලේ  මහ පුදුම විදියට...සීමා මායිම් නැති මහ පුදුම ආදරයක් ඒක..අවුරුදු 6ක් පරණ ආදරයක්...ඒත් අවිශ්ක දවසින් දවසම ඒ මායිම් කඩාගෙන මට ලංවෙන කොට මටම හිතා ගන්න බැරි උනා මං මොකද කරන්නේ කියල..

දවසක් මට හොදටම අසනීප වෙලා හොස්පිටල් ඉන්නකොට අවිශ්ක ආවා මාව බලන්න..එයා මා ලගට ආවා විතරයි එතනට අමල් අයියා ආවා..

“මල්ලි පොඩ්ඩක් එහාට වෙනවද ”අමල් අයියා එහෙම කියනකොට අවිශ්ක හරි අසරණ විදියට ඈත් උන හැටි මට තාම හොදට මතකයි..ඒ බැල්ම මාව හීතල කළා....

ඒ හැම දේම ඉවසන් එයා තාමත් මං ලගටම වෙලා ඉන්න එක මගෙ හිතට ලොකු දුකක් උණා...එයත් කෙනෙක් හොයා ගන්නවා නම් කියලා ඒ වෙලාවට  මට හිතුණා.ඒත් එහෙම දෙයක් උනොත් ඒකත් මට ලොකු දුකක් කියලා මට තේරුණේ එයා ගැන වෙන කෙනෙක් කථා කරනකොටයි..ඒ වෙලාවට මගේ හිතට දැනෙන ලෝබ කම....එයා මගේ වෙන කාටවත් දෙන්නේ කොහොමද කියන හැගීම....මං මහා ආත්මාර්ථකාමී කෙනෙක් කියලා මටම තේරුණා....

අපි ආදරේ කරන්නේ ලබා ගන්නමද..නැත්තම් දුරින් ඉදලා අපිට ආදරේ කරන්නම බැයිද කියලා මම හැම වෙලේම හිතුවා...මිනිස්සුන්ගේ ආත්මාර්ථකාමී කම ඇතුලේ හැම දේම තමන්ගේ කර ගන්න හදනවා මිසක් ඒ දේ අනුන්ගේ වෙලා තියෙද්දී ඒ දේට ආදරේ කරන්න බැරි වෙලා තියෙන්නේ...මාත් ඒ අනික් මිනිස්සු වගේම තමා...අවිශ්කව මට දැනෙන විදිය,මම එයාව දකින විදිය අනිත් හැමෝටම වඩා වෙනස්..ඒත්...ඒත් මේ හැම දේම අතරින් අමල් අයියාව දකිනකොට මට මහා වැරදිකාර හැගීමක් එන්නේ....මං එයාට කරන්නේ ලොකු වැරැද්දක් කියලා මගේ හිත කෑ ගහලා කියනකොට මට මහ අසරණ හැගීමක් එන්නේ...

හැම දේටම රණ්ඩු වෙන,පොඩි දේටත් තරහා වෙන අවිශ්කත් හැම දේම තේරුම් අරන් මාත් එක්ක ජිවත් වෙන අමල් අයියත් හරියට අහසයි පොලවයි වගේ...

“ඊයේ එක්කෙනෙක් තව කෙනෙක් එක්ක ඇවිදින්න  ගිහින්නේ”හිරුණිට අපිව bite කරන්න හොද chance එකක් ඇවිත්..ඊයේ තිබුන exhibition එකට අපි දෙන්නම ගියා..ඒ අස්සේ අහම්බෙන් වගේ තමා ඒ ලග පාරක අපි දෙන්නම ගියේ..රෑ හතට විතර පයින් ඇවිදිද්දී..........අපි දෙන්නා විතරක්......

“ආ ඒ කව්ද ඒ ???”අවිශ්ක නොදන්න ගානට අහනවා...

“කව්ද දන්නෑ දෙන්නෙක්ලු අනේ”

“ආආආ ඇත්තද....”

“ඕවා කරාට කමක් නෑ ඉතින් අයිති කාරයෝ නැත්තම්...”හිරුණි එහෙම කියනකොට අපි දෙන්නම මුණට මුණ බලා ගත්තා..අහගෙන ඉන්න අමාරු උනත් ඒ තමයි කටුක ඇත්ත....ඒ කතාව ඇතුලේ හැංගිලා තියෙන කතාව...අවිශ්ක කිසිම කතාවක් නැතුවම එතනින් යන්න ගියා....

“මොකද ඒ එයා යන්න ගියේ ”

“කව්ද දන්නේ අනේ ”

“අපෝ මං bite කරන්නනේ හැදුවේ..මහ මොකෙක්ද මන්දා...”

හිටපු ගමන් අවිශ්ක දවස් දෙක තුනක් එක දිගටම campus ආවේ නෑ...එයා කවදාවත් එහෙම නෑවිත් ඉන්නෙත් නෑ..යාලුවෝ කව්රුවත් දන්නෙත් නෑ ඇයි කියලා...මටත් මාරම ප්‍රශ්නේ ඒක....ඒ හින්දමයි මං එයාලගේ ගෙදරට කතා කලේ..

“ආන්ටි ඇයි අවිශ්ක campus ආවේ නැත්තේ ..අසනීප වත් වෙලාද...”

“ඇයි දුවට කිව්වේ නැද්ද පුතා...”

“මොකක්ද ආන්ටි ...”මගේ හදවත හයියෙන්ම ගැහෙන්න උණා.

“එයා එයාගේ uncle ලගට ගියානේ දුව..පහුගිය දවස් වල එයා මොකකට හරි හිතේ අමාරුවෙන් හිටියේ..අපි එපා කියද්දිමයි එයා අපිවත් දාලා මගෙ මල්ලි ලගට ගියේ..ආයි කවදාවත් ලංකාවට එන්නේ නෑ කියලා....” අවිශ්කගේ අම්මා අඩ අඩ කියද්දී මගේ මුළු හදවතම  නැවතුනා වගේ උණා...

එයාට මට නොකියා මේ රට දාලා යන්න තරමට උන හිතේ අමාරුව මොකක්ද....මං අවිශ්කට FB  message එකක් දැම්මේ ඒක අහලා....ඒත් එයාගේ reply එක දැක්කම.......

“අසිනි ඔයා දැක්ක පලවෙනි දවසේ ඉදලම මං ඔයාට ආදරේ කළා ...ඒත් ඔයා වෙන කෙනෙක්ගේ කියලා දැන ගත්ත වෙලේ ඉදලා මං විදපු දුක...ඔයා දිහා බලාගෙනම මං වින්ද දුක..මගේ ආදරේ කියා ගන්න බැරුව ...තවත් මේ දේවල් දරා ගන්න තරම් මගේ හිත හයිය නෑ ...මට සමා වෙන්න නොකියම ආවට .....” 

- සේයා -