Header Ads

කාබන් ඩයොක්සයිඩ් හා මිනිසා

කාබන් ඩයොක්සයිඩ් කියන්නෙ මොකද්ද කියල නම් නොදන්න කෙනෙක් නෑනෙ. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ කාබන් ඩයොක්සයිඩ් හා මිනිස් ප්‍රජාව අතර තිබෙන සම්බන්ධය ගැන.


මුලින්ම මම මේ පහත ප්‍රස්තාරය දෙසට ඇස යොමු කරන්න ඔබට ආරාධනා කරනවා.
පෘථිවි වායුගෝලයේ කබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය 

පහුගිය වසර 1000ක් තිස්සෙ වගේ අපේ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වායුව කොපමණක් තිබෙනවාද යන්න තමයි මේ ප්‍රස්තාරයෙන් පෙන්වන්නෙ. නිල් පැහැ කොටස ඇන්ටාක්ටිකාවේ අයිස් ග්ලැසියර හරහා ලබාගත් තොරතුරු වලින් ගණනය කරන ලද ඒවාත්, රතු පැහැ කොටස හවායිහි තිබෙන විද්‍යාගාරයෙන් මිනුම් වලින් ලබා ගත් තොරතුරුත් වෙනවා.

හරි අපි මෑත ඉතිහාසයේ තොරතුරු වලට යමු.



පසුගිය වසර 50ක වගේ කාලය තුළ වාතයේ CO2 ප්‍රමාණය කොහොමද කියල මේකෙ තියෙනව.

පසුගිය වසර 5ක කාලය ගැන පොඩ්ඩක් බලමු. ඒකට පහත ප්‍රස්තාරය බලන්න. 


වර්තමාන වායු ගෝලයේ තිබෙන කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය = 406.81 ppm (මිලියනයට කොටස්) [2016.07.05 - Mauna Loa Observatory, Hawaii (NOAA-ESRL)]

හරි දැන් අපි මේ ප්‍රස්තාර වල තිබෙන තොරතුරු ගැන ටිකක් බලමු,

මුල්ම එක බැලුවොත්, ඔබට පෙනෙනවා ඇති ක්‍රි. ව. 1800 වගේම වෙනතුරු වායු ගෝලයේ CO2 ප්‍රමාණය එතරම් වෙනසක් නොපෙන්වමින් එකම මට්ටමේ වගේ පැවතිලා තිබෙනව කියල. ඒ කියන්නෙ 250ppm වගේ අගයක.

වර්ෂ 1800න් පස්සෙ වාතයේ CO2 ප්‍රමාණය සීග්‍රයෙන් ඉහළ යන්නට පටන් අරගෙන තිබෙනවා.

1800 - 1900 වගේ කාලයක් යම් වේගයකිනුත්, 1900-1950 දක්වා කාලය තවත් වේගය වැඩි කරගනිමිනුත් හා 1950 සිට අද වනතෙක් ඉතාමත් සීග්‍රයෙනුත් වායු ගෝලයේ CO2 ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.

1960 සිට මේ වන තෙක්, එම ඉහළ යාමේ වාර්ෂික වැඩි වීම කොහොමද බලමුද? පහත ප්‍රස්තාරය බලන්න.


ඔබට පෙනෙනවා ඇති, වාර්ෂික ඉහළ යාම, වැඩි වෙමින් හා අඩු වෙමින්, ත්වරණයක් දක්වමින් වාර්ෂිකව වැඩි වන ප්‍රමාණය වැඩි වී තිබෙනවා. 

එතකොට ලෝකෙ ලොක්කො ඔක්කොමල්ල එකතු වෙලා කාබන් ඩයොක්සයිඩ් මට්ටම පාලනයට වාර්ෂිකව එකතු වෙලා සම්මේලන තියල මොකද කරල තියෙන්නෙ????

මේව බැලුවම නම් පේන්නෙ මොකුත්ම කරල නෑ කියල, නේද???

හරි, ඒක පොඩ්ඩක් පැත්තකින් තියල, අපි බලමු මිනිස්සු කාබන් ඩයොක්සයිඩ් පරිසරයට මුදා හරින්නේ මොන වගේ දේ වලින්ද කියල.


ඔබට පෙනෙනවා ඇති, ඉහළම කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වායුගෝලයට මුදා හැරෙන්නේ ගොඩනැඟිලි ඉදිකිරීම හා පවත්වාගෙන යාමට කියල. දෙවනුව තිබෙන්නේ ප්‍රවාහන කටයුතු.

ලංකාව තුළ තිබෙන ගොඩනැඟිලි සැළකුවාම මේ ගණන 40%ක් වෙනවා. (M. Jayalath, 2010)

ඉතින් 1800 වෙනකම් හොඳට තිබ්බ ලෝකෙට මොකද්ද උනේ 1800න් පස්සෙ????
ඔබ දන්නවා. "කාර්මික විප්ලවය" නේද?

ඉතින් 1800-1950 අතර සිද්ධ උනු කාර්මික විප්ලවය එක්ක මිනිස්සු ගොඩක් දේවල් සොයා ගත්ත, නිර්මාණය කළා. මේක සිද්ධ උනේ ලෝක යුද්ධ දෙකත් එක්ක සමාන්තරව.
මේ කාලයේ නිර්මාණය උනු ප්‍රධානම දෙයක් තමයි "එන්ජිම" කියන්නෙ. ගල් අඟුරු, පෙට්‍රල් හා ඩීසල් එන්ජින්.
මේවත් එක්ක විශාල යන්ත්‍ර සූත්‍ර ප්‍රමාණයක් නිර්මාණය කෙරුනා. මෝටර් වාහන නිර්මාණය උනා.
ඒවාත් එක්ක විශාල වශයෙන් ගල් අඟුරු, ඩීසල් හා පෙට්‍රල් දහනය ඉහළ ගියා. ඉතින් ඛනිජ තෙල් දහනය සීග්‍රයෙන් ඉහළ යාමත් එක්ක පරිසරයට මුදා හැරෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයත් සීග්‍රයෙන් ඉහළ ගියා.
මේවාත් එක්ක උනු තවත් දෙයක් තමා ලෝකයේ මිනිස් ජනගහණය වේගයෙන් ඉහළ ගිය එක. මිලියන 750 සිට බිලියන 2.5 දක්වා ජනගහණයේ සීග්‍ර වර්ධනයක් මේ කාලයේ සිදු උනා. ඒකත් එක්ක අර ඉහත කිව්ව දේ වලට වියදම් වන ශක්තිය ඉහළ යාම නිසා පරිසරයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයත් සීග්‍රයෙන් ඉහළ ගියා.

ඉතින් මේක දැක්ක පරිසරවේදීන් තේරුම් ගත්ත මෙහෙම ගියොත් අනාගතේ අඳුරු වෙන්න පුළුවන් බව. ඉතින් මේ වෙනුවෙන් කතා සිද්ධ වෙන්න පටන් ගත්ත. සම්මේලන පැවැත්වුනා.

පරිසරයට මුදා හැරෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කරන්නට ලෝක නායකයින් සාකච්ඡා කළා.

වසර කිහිපයක්ම මේ දේ සිද්ධ උනත් කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යාමේ වේගය වැඩි උනා මිසක් අඩු උනේ නෑ.

ඉතින් ඊට පස්සෙ ඔවුන් තේරුම් ගත්ත මේක අඩු කරන්නට බෑ නමුත් තියෙන මට්ටමේ හරි තියාගන්න උත්සාහ කළ යුතුයි කියල. නමුත් ඒකත් හරි ගියේ නෑ.

දැන් මොකද්ද දන්නවද තත්වය???

මේ වෙන විදිහට වෙන්න අරිමු, ඉස්සරහට වෙනදේකට මුහුණ දෙමු.
ඉතින් ඔබ සූදානම්ද ඒකට?

අපේ අනාගත පරපුර ඔක්සිජන් ටැංකියක් පිටේ බැඳගෙන ජිවත් වෙනවාට???අනාගතයේදි. බෝතල් කළ පිරිසිදු වාතය සල්ලි දීල ගන්න????ඔබ ඔක්සිජන් මාස්ක් එකක් දාගෙන පාරෙ යන්න???

නැත්තම් මේ වෙන වායුගෝලීය දූෂණය අවම කරන්නට පොඩි හරි උත්සාහයක් ගන්නට සිතනවාද???

සිතන්නට යමක් ඉතිරි කරමින් මෙතනින් මේ ලිපිය අවසන් කරනවා.
ඔබගේ අදහස් වලට විවෘතයි.

ඉංජිනේරු මාධව හබරකඩ (AMIESL, BSc. Eng (Hons), Green SL® AP)