Header Ads

රහස් ප්‍රේමය


අද දවසටම තිබුනෙ එක ලෙක්චර් එකයි.ඒක ඉවර වෙලා මං සවින්දි එක්ක canteen එක පැත්තට යනකොට මගදී මින්දික අයියව හම්බුණා.

“හලෝ ලෙක්චර් ඉවරද?කොහෙද යන්නේ මේ?”

“ඔව් ඔව් ඉවරයි...Canteen එකට යනවා අනේ.අයියා කොහෙද යන්නේ?”

“මාත් මේ ඒ පැත්තට තමා යන්නෙ..”

මින්දික අයියා වෙන faculty එකක..FB එකේ මගෙ යාළුවෙක්.කොහොමහරි එහෙම කතා කරලම දැන් හොද යාළුවෙක් වෙලා.එයා හොද photographer කෙනෙක්.ටිකක් විතර නිවුණු චරිතයක් උනාට කට්ටිය එක්ක සෙට් උනාම නම් මහම මහ පිස්සෙක්..මං එයාගේ ෆොටෝ වලට මාරම ආසයි.ඒවයේ අමුතුම ගතියක් තියෙනවා..කොහොමත් මං කැමති ටිකක් වෙනස් විදියෙ අයටනේ..ඒ හින්දමද කොහෙද මින්දික අයියා එක්ක මේ තරමට ෆිට් උනේ.

“මොකද හලෝ සද්දයක් නැත්තේ???”

“නෑ නෑ එහෙම මොකුත් නෑ ”

“ඇයි මා එක්ක යද්දි කව්රු හරි දැක්කොත් කියලා අවුල්ද??”

“පිස්සුද අයියේ....ඔයා ඉතින් දන්නවනේ මට එහෙම අවුල් නෑ කියලා.”

“කියන්න බෑනේ ඉතින් ”

මින්දික අයියට කවදාවත් කෙල්ලෙක් ඉදලා නෑලු...ඒ කතාව නම් මං කීයටවත් විශ්වාස කරන්නෑ....ඒක ඉතින් මට අදාළ දෙයක් නෙවෙයි හින්දා මං ඒ ගැන හාර හාර අහන්න ගියෙත් නෑ.මං කොහොමත් නිදහස් මනුස්සයෙක් හින්දා ඕන කෙනෙක් බය නැතුව ආශ්‍රය කරනවා.කවුරුවත් නෑනේ ඉතින් මට නීති දාන්න.

කොහොම කොහොම හරි අපේ exam එකත් කට ලගටම ආවා.reading period එකේ අපි වැඩිපුරම හිටියේ library එකේ.ඇයි දෙයියනේ මාස හයක ඒවා සතියෙන් පාඩම් කරලා exam ලියන්න ඕනනේ.කවදාවත් ඕනි නෝට් එකක් ලියා ගන්නෙ නැති එකේ සර් ලට මැඩම් ලට පින් සිද්ද වෙන්න ඒ ටික මූඩ්ල් එකෙන් ගන්නවා.(ඕවා ප්‍රින්ට් කරන්න ගියොත් අපි විකිනේවි)මුල් සබ්ජෙට් පහ නම් අවුලක් නැතුව යන්තම් ලියා ගත්තා..ඒ මං ආසම ඒවා උන හින්දා.ඒත් ඊළගට තිබුන ඒවා නම් මට එපා කරපු ඒවා..ඒ දෙක ලියන්න නම් සෑහෙන්න ගේමක් දෙන්න වෙනවා කියලා මං හොදටම දැනන් හිටියා...ඒ හින්දමයි library එකේ පදිංචි වෙලා පාඩම් කරන්න ගත්තේ...

ඔය පාඩම් කරනවා කීවට ඉතින් එක දිගටම ඕක කරන්නත් බෑනේ.පොඩි විවේකෙකුත් ඕනනෙ.එහෙම වෙලාවට ඉතින් FB පැත්තේ ගිහින් රවුමක් දාලා එහෙම එනවා.එක දවසක් එහෙම යද්දි කාගෙන්දෝ friend request එකක් තිබුණා.කව්ද කියලා බලද්දී මින්දික අයියගෙ batch එකේ ළමෙක්.හැබැයි ටැමිල් ළමෙක්...කමක් නෑ ඉතින් මින්දික අයියගේ යාලුවෙක් වෙන්නැතිනේ.ඒ හින්දම confirm කළා.එතකොට එයා 

“Hi”

“Hi”

“කොහොමද ඔයාට ?”

“හොදයි ”

“ඔයාලට exam ඉවරද ??”

“ඔව්.අයියා කොහොමද දන්නේ??”

“මං ඔයාව exam hall එක ලගදි දැක්කා දවස් දෙක තුනක් ”

“අහා...” කොහොමද දන්නෑ මාව හොයා ගත්තේ මෙයා..මටත් ඉතින් මාර ප්‍රශ්නනේ තියෙන්න..කොහොම කොහොම හරි පාඩම් කරන එක පැත්තකින් තියලා ඒ අයියගේ ඕපා දුප හොයන්න ගත්තා.එයාගේ නම කුමාර්...කොහොම උනත් මං වගේ අපත dial එකක් නම් නෙවේ.හොදට ඉගෙන ගන්න ළමෙක්.කොහොම උනාද කියන්න නම් දන්නෑ.එයාව මට මාරෙටම හිතට ඇල්ලුවා..එයාට සිංහලත් බෑ..ඒ උනාට අනේ මන්දා.

එයත් එක්ක කතා කරලා මට එක දෙයක් නම් හොදටම තේරුණා.එයා දවස් ගානක ඉදලා මං ගැන හොද හෙවිල්ලෙන් ඉදලා කියලා..මං library එකට එන හැම වෙලාවකම එයත් ඒ අහල පහලම ඉදලා කියලා..මට පුදුම හිතුනෙ එයාව කොහොමද මට මගරුනේ කියලා..සාමාන්‍යයෙන් ඔහොම දේවල් මගෙ රේඩාර් එකට අහු නොවී තියෙන්නෙ නෑනේ.

මං මින්දික අයියව හම්බෙන්න ගියේ කුමාර් ගැන අහන්නමයි.එයා කොහොම කෙනෙක්ද දන්නෙත් නෑනේ.

“මින්දික අයියා පොඩි උදව්වක් ඕන ”

“ඒ මොකක්ද ඒ ??”

“ඔයාලගේ batch එකේ ඉන්නවා නේද කුමාර් කියල කෙනෙක්..එයා ගැන විස්තර දැන ගන්න ඕන.”මං එහෙම කිව්වා විතරයි මින්දික අයියා අමුතු සතෙක් දිහා බලවා වගේ මගේ දිහා බැලුවා..

“ඒකා ගැන විස්තර ඔයාට මොකටද???”

“මට නෙවේ යාලුවෙක්ට අනේ ”මං එහෙම කිවේ ඇග බේර ගන්න ඕන හින්දා.නැත්තම මාව චාටර් කරනවනේ.

“අහා ඒක මිසක්..මං මේ ඒත් බැලුවා මෙයාට මොකටද කියලා....ඌ හොදයි..අහිංසක කොල්ලෙක්..බොන්නේ එහෙම නෑ.හෙන ලැජ්ජා කාරයා.පාඩුවේ ඉන්නවා.කෙල්ලෝ පස්සේ යන්නෙත් නෑ.දන්න තරමින් කෙල්ලෙක් නෑ තාම.තව ඕනනම් ඉතින් හොයලා කියන්න පුළුවන්.”

“ඇති ඇති ඔය...”එයා ඒක කියපු තාලෙට මට හිනා...

කුමාර් අයියට මාත් එක්ක කතා කරන්න ඕන කියලා දැන් සෑහෙන්න දවසක ඉදන් කියනවා..ඒත් එහෙම එක පාරටම ඒක කරන්න බෑනේ.කව්ද කින්ද මන්ද නොදැන..අන්තිමට library එකේදී එයත් එක්ක කතා කරන්න මං කැමති උණා.ඒත් හිතට නිකන් මොකක්ද මොකක්ද වගේ...කෝකටත් කියලා සවින්දිත් අඩ ගහගෙන මං lending section එකට ගියේ එයාව හම්බ වෙන්න.මෙන්න දෙයියනේ එතන ඉන්නවා මින්දික අයියා..එයාව දැක්කම නම් මාත් ටිකක් ගැස්සුනා..ඇයි ඉතින් ආවේ හොර වැඩකටනේ.එතකොටම එතනින් කුමාර් අයියත් ගියා...ෂෝක්....පරිප්පු නැතුවම පාන් හම්බෙන්නයි යන්නේ.කුමාර් දිහා අමුතු විදියට බලපු මින්දික අයියා 

“ඔයා පොත් ගන්න ආවද???...”

“ඔව් අයියේ ”

“අර දැන් මෙතනින් ගියේ කුමාර් ”

“අහා ඇත්තද....මං පොත් අරන් එන්නම් අයියේ ”එහෙම කියලා මං ෂේප් එකේ එතනින් මාරු උනා.දැන් ඉතින් කොහොමද කුමාර් එක්ක කථා කරන්නේ..මින්දික අයියා දැක්කොත් වැඩේ අතේ මාට්ටුනේ.අයියෝ...මටමනේ වෙන්නේ..

“දැන් මං මොකද කරන්නේ සවින්දි???”පොත් රාක්කෙ ලගට වෙලා බොරුවට පොත් තෝරන ගමන් මං සවින්දිගෙන් ඇහුවා.

“අනේ මන්දා...ඔයා කුමාර්ට කියන්න මේ හරියට එන්න කියලා..මින්දික අයියා මෙහෙට එන එකක් නෑනේ..”සවින්දිට ඒක කියලා කට ගන්න උනේ නෑ මින්දික අයියා එතන.

“අහා ඔයාලත් මෙතනද??මාත් මේ පොත් වගයක් හොයන්න ආවා.”

“ඔව් අයියා..මේ English novels ටිකක් හොයන්න ආවා.”

දැන් අපිට එහා පැත්තේ රාක්කෙ මින්දික අයියා පොත් තෝරනවා..අපි මෙහා පැත්තේ තෝරනවා...එහෙන් කුමාර් හෝ ගාලා messages එවනවා..call කරනවා..මට හොදටම පිස්සු වගේ..මේකා මෙතනින් යන්නේ නැද්ද මන්දා..මං මින්දික අයියට හිතෙන් බැන බැන හිටියේ..හොද වෙලාවට එයා පොත් දෙකකුත් අරන් එතනින් ගියා...අපි ෂේප් එකේ එහා කෙරවලේ තිබුණ වෙන රාක්කයක් ලගට ගියා..මං කුමාර්ට call කරලා එතනට එන්න කීවම එයා අපි කලින් හිටපු තැනලු...ඒ පාර ආයි අපි එතනට ගියා..ගිහින් බැලුවට කව්රුවත් නෑ එතන..ආයි මං බොරුවට පොත් තෝර තෝර ඉද්දි යන්තමින් වගේ කව්ද එහා රාක්කෙ ලගට ආවා දැක්කා..මගෙ heart එක හෝ ගාලා ගැහෙනවා..වීරයා වගේ ආවට මොකද දැන් නම් කතා කරන්නත් බෑ වගේ..

“ගිහින් කතා කරන්න ”සවින්දි මාව එලෝනවා.

“අනේ මට බෑ වගේ අප්පා”

“පිස්සු නැතුව යනවා..අර ළමයා පව් ”

ඒ පාර මං කතා කරන්න හදද්දිම එයා අපේ පැත්තට ආවා..මල කෙලියයි..මින්දික අයියා.....මේ මැට්ටා මෙතන මක් කරනවද...

“ගෙනිච්ච පොත හරි නෑ අනේ..මාරු කරන්න ආවා”එහෙම කියාගෙනම එයා එතනින් ගියා...

මායි සවින්දියි මුණට මුණ බලා ගත්තා.මේ මොකක්ද මේ වෙන්නේ....

“සවින්දි මේ වැඩේ හරියන්නෑ..මං වෙන දවසක එනවා කුමාර්ව හම්බෙන්න ”

එහෙම කියලා මං පොත් දෙකත් අරන් counter එක ලගට ආවා..මෙන්න එතන මින්දික අයියා....

“ඔයා පොත් ගත්තද???”

“ඔව් අයියේ ”

පොත් ටිකත් අරන් මින්දික අයියටත් කියලා මං පහලට ආවා...මං කුමාර්ට යන්න කියලා message එකකුත් දාලා phone එකත් ඔෆ් කරලා දැම්මා...

“මොකක්ද සවින්දි ඒ උනේ ”එතන උන දේ හිතා ගන්න බැරුව මං සවින්දි ගෙන් ඇහුවා..ඒ මැට්ටිට හොදටම හිනා..

“මොකද මැට්ටෝ බුරුවෙක් වගෙ හිනා වෙන්නේ ”මට හොදටම කේන්තියි දැන්නම්..

“හිනා යන්නැතුවයෑ අනේ ..ඒක නිකන් හින්දි ෆිල්ම් එකක් වගේ...මට නම් හිතෙන්නේ මින්දික අයියා ඔයාගේ හොර අල්ලන්න එන්නැත්තේ...”

“ඒ මොන එහෙකටද ...එයාට ඒකෙන් ඇති වැඩේ මොකක්ද..”

“කව්ද දන්නේ ඉතින්..එයාට වැඩක් තියෙනවා නම් එහෙම ...”

“මල සමයන් ”මං ආයි බෝඩිමට ඇවිත් තමා phone එක on කලේ ...දැන් ඉතින් කොහොමහරි කුමාර් වත් ෂේප් කර ගන්න ඕන..ඒ හින්දමයි මං එයාට call කලේ.

“ඇයි ඔයා මගේ messages වලට reply කලේ නැත්තේ ????ඒ මදිවට ෆෝන් එකත් ඔෆ් කරලා..”කුමාර් කතා කලේ තරහෙන් වගේ.

“අනේ ඉතින් ඔයාව මීට් වෙන්න බැරි නිසා මං එහෙම කලේ ..සොරි ...”

“ඔයාල යන යන තැනට මින්දික ආවේ ඇයි???එයා ඔයාලා පස්සෙන්ම ආවා..ඒකයි මං වැඩියක්ම කතා කරන්න ආවේ නැත්තේ ...”කුමාර් කියපු දෙයින් නම් මට ටිකක් අවුල් වගේ..මොන එහෙකටද එයා අපි පස්සෙන් ආවේ....

“ඒක නම් මං දන්නෑ”

“මට ඇත්ත කියන්න එයා ඔයාට කැමතිද ...”

“පිස්සුද එහෙම එකක් නෑ”

“එහෙනම් ඔයා එයාට කැමතිද ...”

“ඔයාට පිස්සුද අප්පා...”

“හ්ම්ම් ”

මින්දික අයියගේ පිස්සු වැඩ නිසා මටත් මාරම අවුල්....එයා කවදාවත් මට කැමතියි කියලා මට පෙන්නලා නෑ..මටත් එයා ගැන එහෙම කිසිම හැගීමක් නෑ...

කොහොම කොහොම හරි කුමාර් එක්ක කතාව සෑහෙන්නම දුර ගියා..මට එයා ගැන තිබුන ලොකුම අවුල අපේ ජාතිය වෙනස් උන එක..මට ඒක ප්‍රශ්නයක් නොවුනට ගෙදරින් මොන විදියේ දෙයක් කියාවිද දන්නේ නෑනේ.එකත් මොනා හරි කර ගත්තා කියමු....නෑදෑයෝ,යාළුවෝ.....සෑහෙන්න හිතන්න ඕනා දෙයක්...මේ හැම දේමත් හිතලා මං අන්තිමට එක තීරණේ කට ආවා..මොන ප්‍රශ්නයක් ආවත් කමක් නෑ..මං කුමාර්ට කැමති වෙනවා...මෙහෙම හිතන් ඉන්නකොටමයි එයාගෙන් call එකක් ආවේ...

“ඔයා ඊයේ මින්දික ගෙන් මං ගැන මොනාද ඇහුවේ???”එයා ඒක ඇහුවෙ ගොඩක් තරහෙන්...

“මං මොකුත් ඇහුවේ නෑ..ඇයි එහෙම අහන්නේ ”

“එයා මට කිව්වා ඔයා මං ගැන එයාගෙන් ඇහුවා කියලා..ඔයාට මං ගැන අහන්න දෙයක් තිබුනා නම් ඔයාට තිබුනා ඒක මගෙන්ම අහන්න..ඇයි එක එක්කෙනා ගෙන් අහන්න ගියේ ???ඔයාට ඒ තරමටම මාව අවිස්වාසද ???ඇත්තටම මට ඔයා ගැන තිබුන විස්වාසේ නැති වෙලාම ගියා..අපි මෙහෙම කතා කරන එකේ තේරුමක් නෑනේ..ආයි මං ඔයත් එක්ක කතා කරන්නෑ..Good Bye ”

කුමාර් ඒ හැම දේම කියලා phone එක cut කළා..මට කියන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ...මට හිතා ගන්න බැරි උනා මේ මොකක්ද උනේ කියලා...මං මින්දික ගෙන් මුල්ම දවසේ ඇහුවට පස්සේ ආයි කිසිම දෙයක් කුමාර් ගැන අහලා නෑ..එහෙම එකේ ඇයි එයා එහෙම කතාවක් කුමාර්ට කිවේ....මං වැරද්දක් නොකරම බැනුම් අහපු එකනම් මගේ හිතට මාරම අවුල්..ඒ මදිවට මං කුමාර් ගැන හිත හිත ඉන්න වෙලාවකම මෙහෙම උනාම....අන්තිමට මං මින්දික අයියට කතා කලේ මොකද උනේ අහන්න.

“කියන්න ”

“ඔයා කුමාර්ට මොනා හරි කීවද ..”

“අහා ඊයේ මට මිනිහව හම්බුනා..ඒ පාර ඉතින් මං ඇහුවා engi කෙල්ලෙක්ට line ද කියලා..ඇයි මොකෝ උනේ ”

“නෑ නෑ මොකුත් නෑ ”

“අහා ඒක මිසක් ..අපිට ඉතින් ඔය රහස් තියන් ඉන්න බෑනේ..”

“හ්ම්ම්ම් ”

එයා එන්නේ මොකාටද කියලයි මට හිතා ගන්න බැරි උනේ....මගෙ හිතටත් මාරම අවුල්..මං සවින්දිත් එක්ක මේ ගැන කතා කලේ ඒ හින්දමයි..

“නිසලි ඔයා upset වෙන්නේ නැත්තම් දෙයක් කියන්න තියේ ”

“ඒ මොකක්ද ..”

“මින්දික අයියා මල්ෂා ගෙන් ඔයා ගැන අහලා තිබුනා..දැන් ගොඩක් දවස්..මල්ෂා කිවා ඔයාට කියන්න එපා කියලා..ඒකයි මං කිවේ නැත්තේ ...”

අන්තිමට කතාවේ මුල මැද අග මට තේරුනේ එතකොට තමයි....මින්දික අයියා මට කැමැත්තෙන් ඉදලා..මාව කුමාර් ගෙන් ඈත් කරන්න එයාට ඕනා උනේ ඒකයි...වුනේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව මං ඔහේ බලාගෙන හිටියා.....

මෙම කෙටිකතාව ලියන ලද්දේ මොරටුව විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ ඉගෙනුම ලබන චේතනා සොයුරිය විසිනී.